පසුගියදා පවත්වන ලද ජනාධිපතිවරණය හා සම්බන්ධ එක් සුවිශේෂී සිදුවීමක් වූයේ ඉන් දෙවන ස්ථානයට පත් ජනරාල් සරත් ෆොන්සේකාට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පවා අහිමි වීමයි. ඔහුගේ නම ඡන්දදායකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී නැත්තේ යම් ‘තාක්ෂණික දෝෂයක්’ (technical error) නිසා බව කියැවිණි.
මෙහි පසුබිම මම නොදනිමි. එහෙත් මේ සිද්ධිය ඉතා වැදගත් කාරණයක් හෙළි කරයි. එනම් අපේ රටේ ඡන්ද දායක ලැයිස්තුවල මේ රටේ අවශ්‍ය වයස සම්පූර්ණ කළ පුරවැසියන් යම් පිරිසකගේ නම් නොමැති බවය. වෙනත් විදියකින් කිව්වොත් ‘තාක්ෂණික හේතූන්’ නිසා තම නම ඡන්ද දායක ලැයිස්තුවට ඇතුළුකොට නොගැනීමට ලැබීමෙන් යම් පිරිසකට සිය මූලික අයිතියක් වන ඡන්ද බලය පවා අහිමි වන බවය. සංඛ්‍යාත්මකව මේ පිරිස කෙතෙක් විශාල දැයි මම නොදනිමි. එහෙත් ජනරාල් ෆොන්සේකා මුහුණ පෑ අවස්ථාව කලාතුරෙකින් කෙනකු මුහුණ දෙන අහඹු සිද්ධියක් විය නොහැකිය.
ඡන්ද ලැයිස්තුවල හා සැබෑව අතර ඇති පරස්පරය නිසා අවුල් ඇතිවූ මුල් අවස්ථාව මෙය නොවේ. 2006 දී කොළඹ නගරසභා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ප්‍රතික්ෂේප වූයේ එහි එක් අපේක්ෂකයකුගේ නම ඡන්ද දායක ලැයිස්තුවේ නැති නිසාය. එහෙත් ඒ අපේක්ෂකයා දහ අට වන විය සපිරූ තරුණයෙකි. මෙහිදීද සිදුව ඇත්තේ ලැයිස්තු සෑදීමේ ඇති අකාර්යක්ෂමතාව විසින් සැබැවින්ම ඡන්ද අයිතිය ලැබිය යුත්තකුට එය ලබා නොදීම තුළ ඇතිවූ ව්‍යාකූල තත්ත්වයයි.
එසේම ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළදී මේ සම්බන්ධව ඇති වූ කතා බහේදී පැහැදිළි වූයේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ මැතිවරණය සඳහා භාවිතා කරන ලද්දේ අඩු තරමින් වසරකට වත් ඉහත පිළියෙළ කරන ලද ලැයිස්තුවක් බවය. එවැන්නක් කෙතෙක් සම්පූර්ණ විය හැකිද? අදාළ වසර තුළ දහ අටවන විය සම්පූර්ණ කරන තරුණ තරුණියක් කිසිවකුගේ නම් ඊට ඇතුළත් නොවේ. එසේම එම වසර තුළ මියයන හෝ විදේශ ගතවන (එනිසා ඉවත් කළ යුතු ) පිරිසගේ නම් ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් සංඛ්‍යාලේඛන හා සන්සන්දනය කොට බැලීමෙන් මේ තුන් පිරිස ලක්ෂ හතක් පමණ වේ යැයි උපකල්පනය කළ හැකිය.
මීට අමතරව තවත් කාරණාවක් මේ ලැයිස්තුව අසම්පූර්ණ කරයි. ඒ එකම පුද්ගලයාගේ නම තැන් දෙකක ලියා පදිංචි වී තිබීම නිසාය. දත්ත පරිගණක ගත කොට තිබියදීත් මෙසේ වන්නේ කෙසේද මම නොදනිමි. අද කෙසේවෙතත් එක් යුගයක මෙරට එකම හැඳුනුම්පත් අංකය ඇති කිහිපදෙනකු සිටි බව නම් මම වෘත්තීය අත්දැකීමෙන් දනිමි.
මේ සියල්ලෙන් බැස ගත හැකි නිගමන කිහිපයක් වේ. එනම් හුදෙක් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ ක්‍රමයේ ඇති දෝෂයන් හා අකාර්යක්ෂමතාව නිසාම ඡන්ද බලය හිමිවිය යුතු යම් පිරිසකට එය හිමි නොවන බවය. අනෙක් අතට ඡන්ද බලය හිමි නොවිය යුතු පිරිසකගේ නම් ඊට ඇතුළු වීමෙන් යම් මට්ටමක ඡන්ද දූෂණවලට මඟ පාදන බවය.
අවාසනාවන්තම කාරණාව මේ රටේ තොරතුරු තාක්ෂණය මේතරම් ඉහළින් භාවිතා වන්නේය කියන යුගයක මෙවැනි දේ සිදු වීමයි.
රාජ්‍ය අංශය තුළ තොරතුරු තාක්ෂණය භාවිතාව ගැන කතා කිරීමේදී ඒ සම්බන්ධව කේන්ද්‍රීය වගකීම් හිමි තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) කාර්යභාරය සාකච්ඡාවට ලක්වීම නොවැළක්විය හැකිය. තම ආයතන තුළ කටයුතු පරිගණකකරණය කිරීම ඒ ඒ රාජ්‍ය ආයතනයේ වගකීම මුත් සමස්ත රාජ්‍ය අංශය ඒ මට්ටමට ඔසවා තබන දැක්ම තීරණය කිරීම එම ආයතනයේ වගකීම නිසාය.
ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු හා ආණ්ඩු ප්‍රතිනිර්මාණය (Re-engineering Government) පිළිබඳ දැක්ම පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වූ පුද්ගලයන් දෙදෙනෙක් වෙති. දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ආණ්ඩු ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂක වසන්ත දේශප්‍රියයි. මේ දෙදෙනාම දීර්ඝ කාලයක් ආණ්ඩුවේ පරිපාලන සේවයේ නිරතවූ පළපුරුදු නිලධරයන්ය. එසේම දැනට ජනාධිපති ලේකම්වරයා පරිපාලන සේවයේ උසස් නිලධරයකු හැටියට පූර්ව-පරිගණක යුගයන්හීදී පවා රජයේ ආයතන වල කටයුතු පුරවැසියන්ට පහසුවෙන් කරගත හැකිවනසේ කරන ලද ප්‍රගතිශීලී වෙනස්කම් රාශියකට මුල් වූවෙකි. (උදා: දශක කිහිපයකට ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියා පිළිවෙල ප්‍රතිනිර්මාණය කිරීම) ඔවුන් රටට සේවය කිරීමේ පැහැදිළි උවමනාවක් හෙවත් ‘උණක්’ ඇති, නම්‍යශීලී, හැමවිටම අනුන්ට කන්දෙන නිලධරයන් බවටද සැක නැත. මේ දෙදෙනා සමඟම මම රාජකාරි කොට ඇත්තෙමි. පුරවැසියකු හැටියට ආණ්ඩුවේ සේවාවන් ලබා ගැනීමේදී මට මුහුණ දෙන්නට සිදුවූ යම් යම් මෙහෙයුම් ගැටළු (Operational issues) පිළිබඳව පුද්ගලිකව මා නැඟූ අඳෝනා වලට කන් දීමට පමණක් නොව මගේ නිරීක්ෂණ මත ගත යුතු ක්‍රියා මාර්ග ගත් බවද මෙහිදී සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය.
එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩු සේවයේ ඔවුන් ලද දීර්ඝකාලීන අත්දැකීම් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුළුල් කිරීමට මෙන්ම එය සීමා වීමටද හේතුවී ඇත්තේය. ආණ්ඩුවේ නිලධර දැක්ම අනිවාර්යයෙන්ම පුරවැසි අවශ්‍යතා සමඟ සම්පාත විය යුතු නොවේ. සමහරවිට මේ දෙක අතර විශාල හිඩැසක් තිබිය හැකිය. පුරවැසියකු හැටියට රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රියාවලියන්ට තොරතුරු තාක්ෂණය නිසිසේ බද්ධ නොවීමෙන් විශ්ලේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි. මෙහෙයුම් ගැටළු නොව ඊට ඉහළ තලයක දැක්ම ගැන කතාකරන හෙයින් එය රටේ අනෙකුත් පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මම දකිමි. මේ නිර්මාණාත්මක විවේචනයට මා යම් දවසක මේ වැඩ සටහනේම කොටස්කරුවකු වී සිටීම බාධාවක් සේ මම නොදකිමි.
ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ වන්නේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්ප්‍රේරණයෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් සේ 2002දීය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය මත ආණ්ඩු සේවා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් වඩා පහසු, ඉක්මන් සේවාවන් පුරවසියාට ලබා දීම තුළින් පුරවැසියා සවිබල ගැන්වීම මෙහි එක් සංරචකයක ප්‍රධාන අරමුණ වේ. මගේ මතකය නිවැරදිනම් සම්පූර්ණ ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන සඳහා වෙන් කරන ලද ලෝක බැංකු ණය මුදල ඩොලර් මිලියන 50 (රුපියල් කෝටි 500) වන අතර ඉන් ඩොලර් මිලියන 11ක් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංරචකය සඳහාය. පසුව ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදිය සම්බන්ධ කරන දීප ව්‍යාප්ත පරිගණක ජාලයක් ගොඩ නැඟීම සඳහා තවත් ඩොලර් මිලියන 15ක කොරියානු ආධාරයක් ලැබේ.
ඊ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරන ලද පළමු කාර්යයක් වන්නේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ආණ්ඩු සේවාවන් හඳුනා ගැනීම සඳහා වන උපදේශක ව්‍යාපෘතියකි. අද පවා ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම බොහෝ දුරට ගොඩ නැඟී ඇත්තේ (සුළු වෙනස් කිරීම් කිහිපයක් සහිතව) රනිල් වික්‍රමසිංහ යුගයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ උපදෙස් අනුවය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකිරීම පිළිබඳ මගේ අත්දැකීම් වලට අනුව, මේ ව්‍යාපෘතිය සිදුකරන ලද ආකාරයේ මූලික ලුහුඬුතාවක් මම දකිමි. මතකය නිවැරදි නම්, රුපියල් මිලියන විස්සක වියදමින් කරන ලද මෙහි එක් ප්‍රධාන භූමිකාවක් සම්පූර්ණයෙන් අමතකකොට දමා තිබේ. ඒ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක අවසාන ප්‍රතිලාභියා විය යුතු පුරවැසියාය. මේ උපදේශක කණ්ඩායම මොනම අවස්ථාවකවත් පුරවැසි අදහස් ලබා නොගනී. අනෙක් අතට එය දිගින් දිගටම අවධානය යොමු කරන්නේ නිලධර අදහස් කෙරෙහිය. මේ නිසා පුරවැසියා වෙනුවට නිලධරයා සවිබල ගැන්වෙන දැක්මක් නිර්මාණය වේ. මේ දැක්ම අනුව ගොඩ නැඟෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව නිලධරයකුට ජීවිතය බෙහෙවින් සැපපහසු එකක් කරයි. එහි වරදක් නැත. නමුත් අනෙක් අතට නිලධරයාට තම ජීවිතය සුව පහසු කර ගැනීමට අවකාශය ලැබෙන්නේ පුරවැසියා මත පටවන ලද අමතර බරක් නිසා නම් එය අපේ අවධානයට බඳුන් විය යුතුය.
ඡන්ද ලැයිස්තු සකස් කිරීමේදී සිදුවන ව්‍යාකූල තත්වයන්ටද මෙය අදාළය. කොයිතරම් පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතාකළද තවමත් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ කාර්යය වන්නේ නිලධරයාට පහසු විදියටය. නැතිව පුරවැසියාට ඕනෑ ආකාරයට නොවේ.
ඡන්ද හිමියන්ගේ නාම ලේඛනය තවමත් ග්‍රාම නිලධාරින් හරහා ලබා ගැනෙන්නේ පුරවැසියන් සපයා දෙන දත්ත මත පදනම්වය. මේ ක්‍රමය යටත්විජිත යුගයේ සිටම පැහැදිළිව වෙනස් වී නැතැයි සිතමි. මේ දත්තයන්ගේ සම්භවය පුරවැසියා වන නිසා ඒ සැකසීමේදී වන වැරදි වලින් නිලධරයන්ට අත සෝදා ගැනීමට හැකිය. උදාහරණයක් හැටියට වැරදීමකින් යම් ඡන්දදායකයකුගේ නම ඇතුළත් කිරීම මඟ හැරුනොත් එය යළි ඇතුළත් කිරීමක් සිදු නොවේ. (ස්ථාන දෙකක වසන්නන් සම්බන්ධයෙන් මෙය සුලබව සිදු විය හැකි වරදකි.) එසේම පදිංචිය මාරු කිරීමේදී නව පදිංචි ස්ථානයට අදාළ ග්‍රාම නිලධරයා අතින් පෝර්මයක් නොලැබුණේ නම්ද ඡන්ද ලැයිස්තුවට නම ඇතුළත් නොවීමේ ඉඩක් පවතී. අතරමැදි ක්‍රියාවලියේ වැරදි කා අතින් සිදුවුවද අවසානයේ සියළු වැරදිවල පව් ගෙවීමට සිදුවන්නේ පුරවැසියාටය. නිලධරයෝ ඒ සම්බන්ධව කිසිම වගකීමක් නොගනිති.
මෙහිදී අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය මේ පරිගණක යුගයේ පවා මේ කාර්යය වඩා කාර්යක්ෂ්ම ලෙස, පුරවැසියාට වඩා ඵලදායක ලෙස සිදුකළ නොහැකිද යන්නය. කළ හැක්කේ කෙසේද කියා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අදහස් නොකළත් අනිවාර්යයෙන්ම මෙය පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතා කොට ඉතා පහසුවෙන් කළ හැකි බව පමණක් කිව යුතුය. ලෝකයේ වෙනත් බොහෝ රටවලින් ඒ සඳහා උදාහරණ සැපයිය හැකිය.
2010 නොව 2005 ජනාධිපතිවරණයට නිකුත්කළ මහින්ද චින්තන වැඩ පිළිවෙලෙහි තොරතුරු තාක්ෂණය රාජ්‍ය පාලනය ක්‍රමවත් කිරීමට යොදා ගැනීම ගැන මෙසේ සඳහන් වේ.
විදුලි සංදේශ සේවා සහ තොරතුරු සන්නිවේදන සේවා දිවයින පුරා ප්‍රචලිත කිරීමට අවශ්‍ය වන දීප ව්‍යාප්ත යටිතල පහසුකම් ජාලයක් ඇරඹීමට කටයුතු සලසනු ඇත.
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණය උපයෝගීකර ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යුහය මඟින් සපයනු ලබන සේවාවන් කාර්යක්ෂම අයුරින් හා කඩිනමින් ජනතාවට ලබා දීමට අවශ්‍ය පහසුකම් යොදනු ඇත.
කාලයක් තිස්සේ අඩුවක්ව පවතින සංඛ්‍යාන දත්ත පද්ධති, හදිසි ආපදා සේවා පද්ධති, හා භූ විෂමතා සේවා පද්ධති ගොඩ නැඟීම සඳහා නොපමාව ක්‍රියා කරමි.
මින් සමහරක් සාර්ථකව ඉටුවී ඇත. විශේෂයෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලද ඇතුළත්ව රාජ්‍ය ආයතන ගණනකට පරිගණක හා සන්නිවේදන උපකරණ සපයා තිබේ. සන්නිවේදන ජාලද ගොඩ නැඟී ඇත. නමුත් මේ පද්ධති කිසිවක් තවම පුරවැසියා වෙනුවෙන් සේවය කරන බවක් නොපෙනේ. මේ පද්ධතීන් පුරවැසියා වෙනුවෙන් සේවය කරන්නේ නම් මෙවැනි සරල වැරදි සිදු විය නොහැකිය. තාක්ෂණය හා පුරවැසියා අතර යා කළ නොහැකි පරතරයක් ඇති බව පමණි අපට පෙනෙන්නේ.
මෙය ඉටු නොවීමේ ප්‍රධාන ගැටළුව සේ මා දකින්නේ තාක්ෂණය නොමැති වීමවත් (නැතොත් ඒ සඳහා මුදල් නොමැති වීමවත්) තෝරාගනු ලැබූ තාක්ෂණයේ ඇති වරදක් වත් නොව මේ විසඳුම් තුළින් තවමත් පුරවැසියා සවිබල නොගැන්වීමය. ඊට අවශ්‍ය වන්නේ අළුතින් පරිගණකකරණයක් නොව ක්‍රියාවලිය වෙනස් කිරීමකි. (Process change) නිලධරයා සවිබල ගැන්වීම යහපති. එහෙත් ඒ සිදුකිරීමේ මූලික අරමුණ විය යුත්තේ පුරවැසියාට අවශ්‍ය සේවාවන් ලබා දීම පිණිසය. මෙහිදී කේන්ද්‍ර විය යුත්තේ නිලධරයා නොව පුරවැසියාය. පද්ධති සකස් විය යුත්තේ නිලධරයන්ට නිදහසට කාරණා ඉදිරිපත් කිරීම පහසු කිරීමට නොව පුරවැසියාට අවශ්‍ය සේවාවන් සැපයීම පිණිසය. එසේ නැතිව නිලධරයා පමණක් සවිබල ගැන්වෙන දැක්මක් තුළින් සිදුවනු ඇත්තේ කොටිතරම් පරිගණක භාවිතාවන පරිසරයක් තුළ වුවද පුරවැසියාට ඉන් ප්‍රතිලාභයක් අත් නොවීමයි.
සැකසීම
චානුක වත්තේගම











Comments
Leave a comment Trackback