පරිගණක ඉංජිනේරුවකු, විද්‍යා ලේඛකයකු හා ශ්‍රී ලංකාවේ පළමු හා වැඩිම අලෙවියක් වූ පරිගණක සඟරාවේ කතුවරයා හැටියට එක් යුගයක ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය ගැන මම බහුලව ලියා ඇත්තෙමි. එහෙත් පසුගිය වසර පහ හයක කාලය තුළ මම ඕනෑකමින්ම මේ විෂය සම්බන්ධව විවේචනාත්මකව යමක් ජන මාධ්‍යයකට නොලීමි. හේතුව කෙටිකලකට හෝ මාද ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමයි. (මේ සම්බන්ධය වසර පහකට පමණ පෙරය.) ඒ නිසා ඒ ගැන නරකක් තියා හොඳක් පවා, මගේ මතයක් සේ ජන මාධ්‍යයකට ලිවීම මා අනුදත් මාධ්‍යවේදයට පටහැනි බැවින් මම නිහඬ වීමි.

ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු (Electronic government මෙහි ‘රාජ්‍ය’ යන යෙදුම යොදා නැත්තේ සිතාමතාය. රාජ්‍ය ලෙස පරිවර්තනය වන්නේ state යන යෙදුම බැවිනි.) හා ආණ්ඩු ප්‍රතිනිර්මාණය (Re-engineering Government ) පිළිබඳ දැක්ම පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වූ පුද්ගලයන් දෙදෙනෙක් වෙති. දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ආණ්ඩු ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂක වසන්ත දේශප්‍රියයි. මේ දෙදෙනාම දීර්ඝ කාලයක් ආණ්ඩුවේ පරිපාලන සේවයේ නිරතවූ පළපුරුදු නිලධරයන්ය. එසේම ඔවුන් රටට සේවය කිරීමේ පැහැදිළි උවමනාවක් හෙවත් ‘උණක්’ ඇති, නම්‍යශීලී, හැමවිටම අනුන්ට කන්දෙන නිලධරයන් බවටද සැක නැත. පුරවැසියකු හැටියට ආණ්ඩුවේ සේවාවන් ලබා ගැනීමේදී මට මුහුණ දෙන්නට සිදුවූ යම් යම් මෙහෙයුම් ගැටළු (Operational issues) පිළිබඳව පුද්ගලිකව මා නැඟූ අඳෝනා වලට කන් දීමට පමණක් නොව මගේ නිරීක්ෂණ මත ගත යුතු ක්‍රියා මාර්ග ගත් බවද මෙහිදී සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය.

එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩු සේවයේ ඔවුන් ලද දීර්ඝකාලීන අත්දැකීම් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුළුල් කිරීමට මෙන්ම එය සීමා වීමටද හේතුවී ඇත්තේය. ආණ්ඩුවේ නිලධර දැක්ම අනිවාර්යයෙන්ම පුරවැසි අවශ්‍යතා සමඟ සම්පාත විය යුතු නොවේ. සමහරවිට මේ දෙක අතර විශාල හිඩැසක් තිබිය හැකිය. පුරවැසියකු හැටියට මගේ පුද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන් මේ ලුහුඬුතා විශ්ලේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි. මෙහෙයුම් ගැටළු නොව ඊට ඉහළ තලයක දැක්ම ගැන කතාකරන හෙයින් එය රටේ අනෙකුත් පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මම දකිමි. මේ නිර්මාණාත්මක විවේචනයට මා යම් දවසක මේ වැඩ සටහනේම කොටස්කරුවකු වී සිටීම බාධාවක් සේ මම නොදකිමි.

ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ වන්නේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්ප්‍රේරණයෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් සේ 2002දීය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය මත ආණ්ඩු සේවා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් වඩා පහසු, ඉක්මන් සේවාවන් පුරවසියාට ලබා දීම තුළින් පුරවැසියා සවිබල ගැන්වීම මෙහි එක් සංරචකයක ප්‍රධාන අරමුණ වේ. මගේ මතකය නිවැරදිනම් සම්පූර්ණ ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන සඳහා වෙන් කරන ලද ලෝක බැංකු ණය මුදල ඩොලර් මිලියන 50 (රුපියල් කෝටි 500) වන අතර ඉන් ඩොලර් මිලියන 11ක් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංරචකය සඳහාය. පසුව ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදිය සම්බන්ධ කරන දීප ව්‍යාප්ත පරිගණක ජාලයක් ගොඩ නැඟීම සඳහා තවත් ඩොලර් මිලියන 15ක කොරියානු ආධාරයක් ලැබේ.

ඊ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරන ලද පළමු කාර්යයක් වන්නේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ආණ්ඩු සේවාවන් හඳුනා ගැනීම සඳහා වන උපදේශක ව්‍යාපෘතියකි. අද පවා ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම බොහෝ දුරට ගොඩ නැඟී ඇත්තේ (සුළු වෙනස් කිරීම් කිහිපයක් සහිතව) රනිල් වික්‍රමසිංහ යුගයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ උපදෙස් අනුවය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකිරීම පිළිබඳ මගේ අත්දැකීම් වලට අනුව, මේ ව්‍යාපෘතිය සිදුකරන ලද ආකාරයේ මූලික ලුහුඬුතාවක් මම දකිමි. මතකය නිවැරදි නම්, රුපියල් මිලියන විස්සක වියදමින් කරන ලද මෙහි එක් ප්‍රධාන භූමිකාවක් සම්පූර්ණයෙන් අමතකකොට දමා තිබේ. ඒ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක අවසාන ප්‍රතිලාභියා විය යුතු පුරවැසියාය. මේ උපදේශක කණ්ඩායම මොනම අවස්ථාවකවත් පුරවැසි අදහස් ලබා නොගනී. අනෙක් අතට එය දිගින් දිගටම අවධානය යොමු කරන්නේ නිලධර අදහස් කෙරෙහිය. මේ නිසා පුරවැසියා වෙනුවට නිලධරයා සවිබල ගැන්වෙන දැක්මක් නිර්මාණය වේ. මේ දැක්ම අනුව ගොඩ නැඟෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව නිලධරයකුට ජීවිතය බෙහෙවින් සැපපහසු එකක් කරයි. එහි වරදක් නැත. නමුත් අනෙක් අතට නිලධරයාට තම ජීවිතය සුව පහසු කර ගැනීමට අවකාශය ලැබෙන්නේ පුරවැසියා මත පටවන ලද අමතර බරක් නිසා නම් එය අපේ අවධානයට බඳුන් විය යුතුය.

පුරවැසියකු හැටියට මගේ පුද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන් මෙය පැහැදිළි කරනු කැමැත්තෙමි.

මාස කිහිපයකට පෙර මගේ රිය පැදවීමේ බලපත්‍රය නැතිවේ. අවාසනාවකට මා මෙහි ඡායා පිටපතක් තබාගෙන නොමැත. අවශ්‍යතාවයක් නොවූ නිසා අංකයවත් අන් තැනෙක ලියා නැත. මේ මගේ වරදය. මේ සුළු වරද නිසා මට මුහුණ දීමට වන්නේ අතිශයින් දීර්ඝවූත්, කරදරකාරීවූත් ක්‍රියා දාමයකටය.

මා ගත යුතු ක්‍රියා මාර්ගය දැනගැනීම පිණිස ඉන්ටනෙට් හි පිහිට පතමි. ශ්‍රී ලංකාවේ සමහර රාජ්‍ය දෙපාර්තමේන්තු මේ සම්බන්ධව ප්‍රශංසා කටයුතු තරමේ ප්‍රගතියක් ලබා ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එක් උදාහරණයකි. ගමන් බලපත්‍රයක් හෝ වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් නිවැරදිව භාශාත්‍රයෙන්ම ලබාදීමට පමණක් නොව අවශ්‍ය ෆෝර්ම බාගත කිරීමටද පහසුකම් සපයා ඇත. මේ නිසා එක් යුගයක අප්‍රසන්න අත්දැකීමක්ව තිබුණු ගමන්බලපත්‍රයක් ලබා ගැනීම දැන් ලෙහෙසියෙන් කළ හැකි කටයුත්තක් බවට පත්ව ඇත. මම මින් පෙර මේ සේවාවේ වාසිය ලබාගත් සන්තුෂ්ටිමත් පාරිභෝගිකයෙක්මි. ඒ පිළිබඳව මගේ ස්තූතිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ දුරදක්නා නිලධරයන් වෙත පුද කිරීමට කමැත්තෙමි. (ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ දැවැන්ත පරිවර්තනයට බඳුන් වන්නේ, ඊ-ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භයටත් මත්තෙන් නන්දසේන බඹරවානගේ ආගමන හා විගමන කොමසාරිස් වූ අවදියේය සිතමි.)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද මේ පහසුකම මෑතක සිට සපයතත් ඒ ඉතා පසුගාමී ආකාරයෙනි. කොටින්ම සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍රය නැතිවූ කෙනකු එය ලබා ගන්නා ආකාරය මේ වෙබ් අඩවියේ කිසිම තැනක සඳහන් නොවේ. සේවාවක් හැටියට මෙහි තවත් ලුහුඬුතා ගණනාවක් පසුව සාකච්ඡා කරමි.

මම 1919 වලට කතාකර උපදෙස් පතමි. 1919 දුරකථන සේවා සැපයුම ඊ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සාර්ථකම ඉලෙක්ට්‍රොනික ආණ්ඩු වැඩසටහනය සිතමි. මේ නිසා කාර්යාල ගානේ රස්තියාදු නොවී, අනවශ්‍ය පුද්ගලයන්ට කතා කිරීමට කාලය නාස්ති නොකර අවශ්‍ය තොරතුරු සපයා ගැන්මේ හැකියාව ලැබේ. නමුත් එය පවා සමස්ත ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණයක් වත් පුරවැසියා සවිබලගැන්වීමක් වත් නොවේ. ඉතාම සුළු කටයුත්තටත් ෆොර්ම ගණනාවක් අපේක්ෂා කිරීම මඟින් පුරවැසියා පෙළන ක්‍රියාවලිය 1919 නිසා නැතිවී නොමැත. සිදුවී ඇත්තේ පුරවැසියාට සිදුවන ක්‍රියාවලිය පිළිබඳ වඩා හොඳ වැටහීමක් ලැබීම පමණකි. මම මේ වැටහීම ලබමි. වේරහැරට යන්නට මට උපදෙස් ලැබේ.

උදෑසනක වේරහැරට යන මා දකින්නේ අනපේක්ෂිත දර්ශනයකි. කාර්යාලය ඉදිරිපස ඉතා දිගු පෝලිමකි. මම 8.00ට ඊට එක්වෙමි. 8.30ට කාර්යාලය තුළට පිරිස ඇතුළු කිරීම ආරම්භ වේ. මට ඊට අවකාශ ලැබෙන්නේ 10.00ටය. මේ සේවාව සපයන වේලාව නොවේ. ඊට තව පැයක් වත් ඇත. මේ ඉඳගන්නට පුටුවක් ලැබීමේ වේලාවය. ඊට පෙර සිටිය යුතු වන්නේ සිටගෙනය.

මෙය පුදුමයක් නොවේ. රියැදුරු බලපතක් ලබා ගැනීමට මුළු ලංකාවේම සෙනඟ වේරහැරට පැමිණිය යුතුය. අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට ආදී දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණියෝ මා සමඟ පෝලිම් ගත වී හිඳිති. මා ඉදිරිපස ඉන්නා බස් රියැදුරා බලපත්‍රය අළුත්කර ගැනීමේ කටයුත්ත සඳහා දින කිහිපයක වැටුප අහිමි වීම ගැන මැසිවිලි නඟයි. “දවසට රුපියල් හයසීයක් නැතිවෙනව මහත්තය. ඒක අපට අමාරුයි. එක දවසක් මෙඩිකල් ගන්න ගියා. අද දවසම මේකට යනව.” ගමන් බලපත්‍රයක්වත් ප්‍රාදේශීය මට්ටමින් නිකුත්නොකළ හැක්කේ නම් ඩොලර් මිලියන පහළොවක මුදලක් දීපව්‍යාප්ත රාජ්‍ය පරිගණක ජාලයක් සඳහා වියදම් කිරීම මොන අපරාධයක් දැයි මට සිතෙයි. මෙරට වැඩ කරන ජනතාව ගැන බැලුවොත් මේ බස් රියැදුරාද රුපියල් 400 කින් පමණ ඊට දායක වී ඇත. (මේ මුදල ඇත්තටම ගෙවනු ඇත්තේ ඔහුගේ දරුවන්ය.) මේ රුපියල් 400 වෙනුවෙන් වත් කුරුණෑගල සිට දින කිහිපයක් කොළඹ නොපැමිණ මේ කටයුත්ත කර ගැනීමට පහසුකම් සපයා දීමට අපි අපොහොසත් වී ඇත්තෙමුද?

මා කවුන්ටරයක් ඉදිරිපිටට කැඳෙවෙන්නේ එකොළහත් පසු වූවායින් පසුවය. මේ පැයකට වැඩි කාලය තුළ මම තවත් බොහෝ දෑ නිරීක්ෂණය කරමි. මෙහි සියළු කටයුතු, ශාලාවෙන් ශාලාවට යායුතු යැයි කෙරෙන පොදු නිවේදන කටයුතු ඇතුළුව කෙරෙන්නේ සිංහලෙන් පමණකි. මේ සේවාව ලබා ගැනීමට පැමිණෙන්නේ සිංහලයන් පමණක් මෙනි.

මගේ ප්‍රශ්නය ආරම්භ වන්නේ කවුන්ටරයට පැමිණි තැන් පටන්ය. මගේ කලින් බලපත්‍රය 1994 නිකුත් කළ එකකි. මවෙත දැනුම්දෙනු ලබන්නේ රියැදුරු බලපත්‍ර පරිගණකාශ්‍රිතව නිකුත් කිරීම ආරම්භ වූයේ 1997 පටන් බවත් ඉන්පෙර කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි බවත්ය. මෙය සත්‍ය තත්ත්වයයි මම නොසිතමි. මගේ කලින් රියැදුරු බලපත්‍රය පරිගණකයකින් නිකුත්කළ එකකි. එසේනම් එහි තොරතුරු කොතැනක හෝ පරිගණකයක තිබිය යුතුය. එසේ නොමැතිනම් විය හැකි එකම දෙය මේ තොරතුරු වර්තමාන පද්ධතියට ඇතුළු කිරීමට පියවර ගෙන නොතිබීමය. දරන්නට වන වියදම සලකා එවැන්නක් නොකිරීම සාධාරණීකරණය කරන්නට හැකි මුත් එසේ නොකිරීමෙන් අපහසුවට ලක්වන පුරවැසියන්ට කවර හෝ විසඳුමක් තිබිය යුතුය. නැතිවූ බලපත්‍රයේ අංකය මතක නැතිවූ පළියට අළුතින් බලපත්‍රයක් ලබාගන්නට කීම සාධාරණ විසඳුමක් නොවේ. විශෙෂයෙන්ම දැවැන්ත ආණ්ඩු ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින රටක.

මේ ගැටළුව දැන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් තිලක් කොල්ලුරේ වෙතද, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්න වෙතද ගෙනගොස් ඇත්තෙමි. ඔවුන් සුහදශීලී නිලධරයන්ය. නමුත් මේ සුහදශීලී නිලධරයන්ට පවා මීට දශක ගණනකට පෙර සිටින්නට ඇති සුහදශීලී නොවන නිලධරයන් දෙන පිළිතුරුමය දෙන්නට ඇත්තේ. “මේකට මොකුත් කරන්න බෑ!” මේ උත්තරයෙන් පුරවැසියා වන මම නැවත පළමුවන කොටුවට එමි.

මෝටර් ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්න ගෙන් මම ඉල්ලීම් දෙකක් කළෙමි.

1. මගේ නැතිවී ඇති 1994දී නිකුත් කළ රියැදුරු බලපත්‍රයේ අංකය සොයා දෙන්න. (ඉතිරි සියළු කටයුතු පෝලිමේ සිට, අනෙකුත් හැම දෙනකුම සේ මට කර ගත හැකිය.)

2. එය කළ නොහැකි නම් කරුණාකර මට ඉක්මනින් අළුත් රියැදුරු බලපත්‍රයක් ගැනීමට සහාය වන්න. මම පසුගිය වසර 15ක කාලයක් තුළ රිය පදවා ඇත්තෙමි. මම රිය පැදවීමට නවකයකු නොවෙමි. එනිසා නවකයකු සඳහා වන මාස තුනක කාල සීමාව මා වෙනුවෙන් අඩු කරන්න.

මේ ඉල්ලීම් දෙකටම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී. විජේරත්නගේ ප්‍රතිචාරය “කණගාටුයි, කළ නොහැකිය” යන්නය.

මට අළුතින් රියැදුරු බලපත්‍රයක් සඳහා අ‍යැදුම්කළ හැකිය. එය ලොකු ගැටළුවක් නොවේ. නමුත් ගැටළුව 1994දී ඉතාම ලෙහෙසියෙන් කළ මේ කාර්යය දැන් ඊට වඩා බෙහෙවින් සංකීර්ණ එකක් වී තිබීමය. 1994 දී රියැදුරු බලපත්‍රයක් ගැනීමට මට ගත වූයේ එක දිනකි. මා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගමන් කළේ එක් වරකි. අද, රථ වාහන පැදවීමේ පහළොස් අවුරුදු අත්දැකීම් ඇතිවත් මේ කටයුත්ත සඳහාම මා මාස තුනකට වැඩි කාලයක් බලා සිටිය යුතුය. අඩු තරමින් තුන් වරක් (වෛද්‍ය පරීක්ෂණය සඳහා ගතවන දිනය හැරුණු විට ) වේරහැරට යා යුතුය. මෙය වෙහෙසකර කටයුත්තකි. ‘ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව’ මගේ කාලය ඉතිරි කරනවා වෙනුවට නාස්ති කරයි. වැඩ පහසු කරනවා වෙනුවට සංකීර්ණ කරයි. ඉක්මණින් සේවා සපයනවා වෙනුවට වැඩ වවාගෙන කලින් එක දවසින් කළ කටයුත්ත සඳහා මාස තුනක් ගනී.

මෙය නිලධරයන්ගේ වරදක් සේ නොව ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පිළිබඳ වැරදක් සේය මා දකින්නේ. දැනට රියැදුරු බලපත් නිකුත් කිරීම සඳහා ඇති ක්‍රියාවලිය නිලධරයන්ට ඉතා පහසුය. ඔවුන්ගේ පැත්තෙන් එය ක්‍රමාණුකූලය. කිසිම ප්‍රශ්නයක් නැත. සියළු ප්‍රශ්න ඇතිවන්නේ පුරවැසියන්ටය. පුරවැසියන් මුහුණ දෙන ගැටළු සඳහා මේ ක්‍රමය සැකසී නැත.

මෙය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පහත පැණෙන දැක්මෙන් හා මෙහෙවර ප්‍රකාශයෙන් පවා පැහැදිළිය.

දැක්ම: විශිෂ්ඨ මෝටර් වාහන නියාමනයෙන් ඉහල මහජන ප්‍රසාදය

මෙහෙවර ප්‍රකාශය: අභිප්‍රේරණය වූ සේවක සමූහයේ සාමූහික ප්‍රයත්නය හා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඉහල මහජන ප්‍රසාදයක් උදෙසා කැපවීම

පුරවැසියා කේන්ද්‍රගත දැක්මක් හා මෙහෙවර ප්‍රකාශයක මූලිකත්වය ගන්නේ නියාමනය වත්, පනත් හෝ නීති රෙගුලාසිවත් නොව පුරවැසි සේවාය. පනත් හෝ නීති රෙගුලාසි නොවේ, පුරවැසියාට වැදගත් වන්නේ. ඒවා අවැදගත් යැයි මින් නොකියැවේ. ඒ සියල්ලක්ම පසුබිමෙහි ක්‍රියාත්මක විය යුතුය. නමුත් නවීන තාක්ෂණය හෝ පනත් හෝ රෙගුලාසි පුරවැසියා වෙනුවෙන් සේවයක් ඉටු නොකරන්නේ නම් ඒ සියල්ල නාරාහේන්පිට කුණු ඇළට විසිකර දමා පරණ පුරුදු ක්‍රමය ඇති කිරීම වඩා යහපත්ය.

-සැකසීම
චානුක වත්තේගම

අපේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුරවැසියා අමතක කළේද?

4 thoughts on “අපේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුරවැසියා අමතක කළේද?

  • February 8, 2010 at 11:24 pm
    Permalink

    මේ ලිපිය තුලින් ඔබ පවසනව රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ අන්ඩුවේ මැදිහත් වීමේ ආරම්භවු මෙමෙ ව්‍යාපෘතිය නිසි දැක්මක් නැතිව අරම්භවු බවත් එනිසා එය අපේක්ෂිත ප්‍රතිපල ලබා ගැනීමට නොහැකිවු බවත් , එහෙත් වර්තමානයේ ක්‍රියත්මක වෙන ඔබ ඇතුලු අනෙකුත් නිලධාරීන් හෝ පාලකයන් මෙම ක්‍රමය අවුරුදු ගනන්නවක් ක්‍රියාත්මක කිරීම හා එය නිවැරදි නොකිරීමත් එමගි සිදුවු අතිවිශාල පාඩුව පිලිබඳව කිසි වගකීමක් නොමැතිව කතාකරන බවකුයි පෙන්නේ

    නමුත් මුල් කාලයේදීම මෙහි අඩුපාඩු නිවැරදි කිරීමට තරම් උනන්දුවක් නොකර එය තමන් ගේ සංකල්පයක් ලෙස ඉදිරියට ගෙනගොස් වැරදුනු විට ආරම්භ කල අයගේ නොහැකියාව උලුප්පා දැක්වීම සාධාරනද?

    කලයුතුව තිබුනේ මුලින් ලැබු උත්පේරකයට නව සංකල්ප එක්කොට එක සාර්තක කිරීම නේද?

    Reply
  • February 9, 2010 at 10:36 am
    Permalink

    මේකෙ කා ගැනද මේ කියන්නේ?

    මොනව වුනත් ඇත්ත කතාව. රජයේ ආයතන හැම තැනම කතාව මෙහෙමයි. පොඩි වැඩේ‍ට ආයතනය ඇතුලෙ හතර පස් පොලකට යන්න ඕන. ෆෝම් හත අටක් පුරවන්න ඕන. සේරම කරල දුන්නම අදාල කාරණේ පිළිබඳ පුද්ගලික ඉල්ලීම් ලිපිත් ඕන. නිලධාරින්ට ලේසියි කියන්නත් බෑ. මොකද ඔය පුරවන පෝර්ම බොහොමයක් හෙන පරණ ඒවා. අනික බොහොම ආයතන වල පරිගණක පද්ධති වලින් නිසි වැඩක් ගන්නෙ නෑ. පරිගණක වලින් සොලිටෙයා ගහන අතරෙ තාම පරණ කඩදාසි ලිපි ගොනු අස්සෙ තමයි දත්ත තියාගෙන ඉන්නේ. මට හිතෙන්නෙ නිලධාරින්ටත් මේ ක්‍රමය අමාරුයි. ඒ නිසාමයි එයාල කම්මැලි වෙලා තියෙන්නෙත්. මේක වෙනස් කරන්න නම් මේ පද්ධති මුල ඉඳන්ම නිසි අධ්‍යයනයකට ලක් වෙන්න ඕන.

    Reply
  • February 9, 2010 at 12:25 pm
    Permalink

    ලංකාවේ බහුතරයක් රජයේ දෙපාර්තමේන්තුවල කාරයයන් බිත්තිය මත ලියු දැක්මකට පමනක් සීමා වෙලා තියෙන්නේ.නිසි ලෙස මහජනයාගේ ප්‍රශ්ණ වලට නිසි පිළිතුරු ලබාදීම නිසි කල දකින්න ලැබෙන්නේ කලාතුරකින්.තාක්ෂණය අනුව රට ඉදිරියට ගෙන යෑමට ඉහළ නිලධාරීන් තුල යම් ආකාරයක පසුබැස්මක්, නොසැළකිල්ලක් තිබෙන බව සමහරවිට පෙනී යනවා.එසේම නිසි පුද්ගලයන්, නිසි තැන සිටියහොත් සහ ඔවුන් නිසි ක්‍රියාමර්ග ගැනිමට පෙළබුනොත් රට පෙරට රැගෙන යාමේ කටයුත්ත අපහසු වන්නේ නැ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *