“අපේ රටේ යෞවන යෞවනියන් ගාව විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි ජංගම දුරකථනය. නමුත් ඔවුන් බොහෝදෙනකු කියන්නේ SMS එකක් යවන්න වත් මුදල් නැහැයි කියලා. මේ හන්දා රිංග් කට් එකක් (මිස් කෝල් එකක්) දීමෙන් සෑහීමකට පත් වෙන්නයි ඔවුන්ට සිදු වෙලා තියෙන්නෙ”
කලකට ඉහත මෙසේ කීවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. මේ සාමාන්‍ය දකුණු ආසියාතික දේශපාලන නායකයකුගෙන් අප බලාපොරොත්තු වන ආකාරයේම හා රනිල් වික්‍රමසිංහ මහතා නිතරම කරන ‘පස්දුන් කෝරළේ’ හෝ ‘පොළොන්නරු වරාය’ ආකාරයේ මුග්ධ ප්‍රකාශයක් විනා කාරණා දැන කළ එකක් නොවේ.
එක – අපේ රටේ SMS එකක් යැවීමේ වියදම කලාපයේ වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව අඩුය.
දෙක – වියදම් වැඩිය කියා මෙරට යෞවන යෞවනියන් SMS යැවීම නතර කර තිබූ බවක් කිසිම සමීක්ෂණයකින් හෙළිව තිබුණේ නැත. (ඇත්තමට සමීක්ෂණ වලින් හෙළිව තිබුණේ එහි අනෙක් පැත්තය. ලර්න් ඒෂියා ආයතනය විසින් 2008 වසරේදී පවත්වන ලද සමීක්ෂණයකදී හෙළිවූයේ අපේ රටේ අඩුම ආදායාම්ලාභී ස්ථර දෙකෙහි පවා තරුණ තරුණියන්ගෙන් 67%ක් SMS භාවිතා කරන බවයි. දැන් මේ ප්‍රතිශතය මීට වැඩි විය හැකිය.)
තුන – SMS යැවීමේ ගාස්තු වැඩි වීමට හේතු කාරක විය හැකි සමහර බදු හඳුන්වා දෙන ලද්දේද රනිල් වික්‍රමසිංහ මහතා අගැමැති පදවිය දැරූ කාල සීමාව තුළදීය. ජංගම දුරකථන සඳහා වූ විශේෂ බද්ද එවැන්නකි.
එහෙත් මේ මිථ්‍යාව පසුපස පවා එක්තරා මට්ටමක සත්‍යයක් තිබුණේය. ඒ අපේ රටේ විදිලි සංදේශ සේවාවන් පිණිස අයවන බදු සම්බන්ධයෙනි. මෑතක් වනතුරු විවිධ බදු වර්ග හතරක් විදිලි සංදේශ සේවා වෙනුවෙන් අය කරන ලද අතර මේ නිසා දුරකථන භාවිතය වෙනුවෙන් අය කෙරෙන හැම රුපියලක් වෙනුවෙන්ම සත තිස් එකක් බදු ගෙවීමට පාරිභෝගිකයාට සිදුවිය. SMS එකක වියදම රුපියල් 1.31ක් හෝ  2.62ක් වූයේ ඒ අනුවය. මේ සත 31 හෝ 62 බදුය.
මේ ඉතා ඉහළ බදු ප්‍රතිශතයකි. 2006-7 වර්ෂ වලදී GSMA ආයතනය විසින් කරන ලද පර්යේෂණයකට අනුව සියයට තිහකට වඩා වැඩි බද්දක් ජංගම දුරකථන සේවා වලින් අය කරන ලද්දේ ශ්‍රී ලංකාව හැරුණු විට ලෝකයේම එක රටක් පමණෙකි. ඒ තුර්කියයි. උගන්ඩාව, බ්‍රසීලය, ඩොමීනියන් ජනරජය හා සැම්බියාව සියයට තිහට ආසන්නව සිටියහ. මේ අනුව දුරකථන සඳහා අය කරන ලද බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටියේ දෙවැනි තැනය.
මේ බදු ව්‍යුහය (වඩා පැහැදිළිව රූපයේ විස්තර කොට ඇත.) අපූර්ව ආකාරයකට අතීතයට සම්බන්ධ විය. මහාචාර්ය කේ. එම්. ද සිල්වා මහතාට අනුව පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජ දවස වී වගාව සඳහාද වූයේ මෙවැනිම සංකීර්ණ ඉහළ අහයකින් යුතු බද්දකි. වී වගාව අදියර තුනෙකදී බද්දට බඳුන් විය. පළමුව අති බහුතරය රජ වාසලය අයත් කුඹුරු වෙනුවෙන් විශේෂ බද්දක් අය කෙරිණි. දෙවනුව ‘දිය දද’ නමින් ගොවිතැනට භාවිතා කරන ලද ජලය සඳහා බද්දක් විය. තෙවනුව අස්වැන්න නෙළාගත් පසුව අතිරික්ත නිෂ්පාදනය වෙනුවෙන් බද්දක් විය.
එකම කර්මාන්තයක් තෙවරක් බද්දට නතු කරන ලද්දේ කෙසේද? එක්කෝ එය මෙසේ බදු ගැසීමෙන් පසුව පැවැතීමට තරම් ලාභදායී විය යුතුය. නැතිනම් මේ බදු ක්‍රමය මහා හිරිහැරයක් විය යුතුය. සමහට විට මේ දෙකම වන්නට පිළිවන. පරාක්‍රමබාහු යුගයේ බල පැවැත්වූ සමහර බදු ඉවත් කිරීමට ඉන්පසුව රජ පැමිණි නිශ්ශංකමල්ල කටයුතු කර ඇත්තේ එනිසා විය හැකිය.
එකොළොස් වන සියවසෙහි වී වගාවට විසි එක් වන සියවසෙහි සමතුල්‍ය වූයේ විදිලි සංදේශ කර්මාන්තයයි. කර්මාන්තයේ ලාභදායී තත්ත්වය නිරීක්ෂණය කළ විවිධ ආණ්ඩු (පසුව මේ සේවා ගාස්තු විවේචනය කළ රනිල් වික්‍රමසිංහගේද ආණ්ඩුව ඇතුළුව) විවිධ අවස්ථා වලදී, තැලෙන යකඩය දුටු කළ උඩ පැණ පැණ තැළු ආචාරියා පරිද්දෙන්, අළුතින් බදු එක් කළහ. නැතිනම් වලංගු බදු ප්‍රමාණ වැඩි කළහ. බදද 31% තරම් ඉහළ ගියේ ඒ අනුවය.
මින් සමහරක් බදු අර්ථ විරහිත විය. ගාස්තුවෙන් සියයට දෙකක් වූ පරිසර බද්ද එවැන්නකි. මේ බද්ද මුලින්ම අය කිරීම ආරම්භ කරන ලද්දේ භාවිතා කර ඉවත ලන ජංගම දුරකථන පරිසරයට හානි නොවන සේ ප්‍රතිචක්‍රීකරණය කරනු පිණිසය. නමුත් මේ බද්ද අයකොට ගොඩ නඟන්නේය එවකට පරිසර අමාත්‍යවරයා පොරොන්දු වූ ප්‍රතිචක්‍රීකරණ කම්හල කිසිදිනෙක ගොඩ නොනැඟුණේය. දැන් මේ වගකීම දුරකථන ආනයනය කරන සමාගම් වෙතම පවරා දී ඇත්තේය. නමුත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ නොකෙරෙන වෙදකම වෙනුවෙන් ජංගම දුරකථන පරිශීලකයෝ බදු ගෙවූහ.
2010 අයවැය යෝජනා තුළින් මේ සංකීර්ණ බදු ව්‍යුහය වෙනුවට සියයට විස්සක තනි බද්දක් පැනැවීමට කර ඇති යෝජනාව අපේ රටේ දුරකථන බදු සම්බන්ධයෙන් මෙතෙක් ඇතිවූ වැදගත්ම පරිවර්තනයක් සේ ගිණිය හැකිය.
මෙහි ඍජු බලපෑම විදිලි සංදේශ සේවාවන්ගේ වියදම අඩු වීමයි. උදාහරණයක් හැටියට රුපියල් 2.66ක් වූ SMS එකක් වෙනුවෙන් මින්පසු ගෙවිය යුතු වන්නේ රුපියල් 2.40කි. මෙය දුරකථන ගාස්තුවෙන් 8%ක අඩු වීමකි. බදු ප්‍රමාණයෙන් පමණක් නම් 35%ක අඩු වීමකි.
දීර්ඝකාලීන ලෙස මේ නිසා දුරකථන භාවිතා කරන්නන්ට, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට වඩා වැඩි සේවාවන් ප්‍රමාණයක් භාවිතයට ඉඩ සැලසේ. මෙය වැදගත් වන්නේ දුරකථනය යනු අද හුදෙක් තවෙකකුට කතා කිරීමට පමණක් භාවිතා කෙරෙන මෙවලමක් නොවන නිසාය. මේ බදු අඩුවීම සියළු විදිලි සංදේශ සේවාවන් සඳහා අදාළය. උදාහරණයක් හැටියට ෆේස් බුක් භාවිතාකරන තරුණ තරුණියන්ගේ ඉන්ටර්නෙට් බිලද මෙනිසා අඩුවේ. ඉදිරියේදී ඇති විය හැකි ජංගම දුරකථන පදනම් කොට ගත් ගෙවීම් ක්‍රම සඳහාද මින් අනුබල ලැබෙතැයි සිතිය හැකිය. පොදුවේ පරිගණක කර්මාන්තයට මේ වෙනස ධනාත්මකව බලපානු ඇත.
මීට අමතරව පොදුවේ පරිගණක කර්මාන්තය සම්බන්ධව මතක ඇති කාලයක කිසිදු අයවැයකින් යෝජනා වී නැති ආකාරයේ ප්‍රශස්ත වෙනස්කම් රාශියක් මෙවර ඉදිරිපත් වී ඇත. ආනයනික පරිගණක මෘදුකාංග සඳහා වැට් බද්ද සේම ජාතිය ගොඩ නැඟීමේ බද්දද ඉවත් කොට තිබේ. මෙය පරිගණක කර්මාන්තයෙහි දීර්ඝකාලීන ඉල්ලීමකට කන් දීමකි. තව වසර කිහිපයකින් අන්තර්ජාතිකව පරිගණක සේවා සැපැයීම තුළින් රුපියල් බිලියන දෙකක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම පිණිස කටයුතු කරන වාතාවරණයක් තුළ මේ අතිශයින් වැදගත් වෙනසක් වේ.
අයවැය යෝජනා වලින් දුරකථන භාවිතා කරන්නට බරක් සේ පෙනුණු එකම යෝජනාව විදේශීය දුරකථන ඇමැතුම් සඳහා වන බද්ද මිනිත්තුවකට (ගාස්තුවට අනනුරූපව) රුපියල් දෙකක් කිරීමය. මීට අතීත කතාවක් ඇත. අනෙකුත් දුරකථන බදු සේම විදේශීය ඇමැතුම් සඳහාද එතෙක් වූයේ ගාස්තුවට අනුපාතික බද්දකි. නමුත් පසුගිය මාස කිහිපය තුළ විදේශීය දුරකථන සංවාද සඳහා වන ගාස්තු විශාල ලෙස පහත වැටුණේය. මේ නිසා ඊට සමානුපාතිකව රජයේ බදු ආදායමද පහත වැටී තිබේ. මේ එය පියවා ගැන්මේ උත්හාසයකි. සමස්තයක් ලෙස විදේශීය දුරකථන භාවිතා කරන්නන් විසින් ගෙවනු ලබන මුදල (බදුද ඇතුළුව) තවමත් මීට මාස කිහිපයකට කලින් තිබූ මිළට අඩුය.
සමස්තයක් ලෙස විදිලි සංදේශ හා පරිගණක ක්ෂේත්‍ර වලට අයවැය යහපත්ය. කෙටිකාලීන නොව දීර්ඝකාලීන ඉලක්ක වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් මෙහි පෙනේ. දශක ගණනාවක් මුළුල්ලේ විවිධ ආණ්ඩු විසින් කරන ලද වැරදි මෙම ඇයවැය මඟින් නිවැරදි කරගැන්මටද රජයට හැකිවී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේම වචන වලින් කිව්වෝත් මේ රිංග් කට් නැති කරන අයවැයකි. යෞවන යෞවනියන්ට දැන් SMS යැවීමට වැඩි ඉඩකඩ ලැබීම ගැන ඔහුද සතුටු විය හැකැයි සිතනු හැකිය.

-චානුක වත්තේගම මහතා විසින් සකසන ලද ලිපියකි

බදු සැහැල්ලුව තුළ විදිලි සංදේශනයේ ඉදිරි මං පෙත්

9 thoughts on “බදු සැහැල්ලුව තුළ විදිලි සංදේශනයේ ඉදිරි මං පෙත්

  • November 28, 2010 at 11:41 am
    Permalink

    එතකොට VAT බද්ද මේකට ඈතුලත් වෙන්නේ නෑද්ද????තව ප්‍රශ්නයක් ..!!!මෙම අලුත් බද්ද pre-paid & post-paid දෙකටම සමසේ බලපානවද????

    Reply
    • November 28, 2010 at 11:43 am
      Permalink

      මෙය ක්‍රියාත්මක වේන්නේ කවදා ඉදලද????

      Reply
    • November 28, 2010 at 12:09 pm
      Permalink

      දෙකටම අදාලයි. ඒ බදු සියල්ල වෙනුවට තමා 20% ක බද්දක් ගහන්නෙ

      Reply
      • November 28, 2010 at 12:25 pm
        Permalink

        අයවැය ක්‍රියාත්මක වෙන දා ඉදල

        Reply
        • January 3, 2011 at 8:18 pm
          Permalink

          20% නෙවෙයි 22% වෙලා තියෙනන්නේ…

          Reply
  • January 3, 2011 at 8:15 pm
    Permalink

    20% නෙවෙයි 22% වෙලා තියෙනන්නේ….

    Reply
  • January 3, 2011 at 8:24 pm
    Permalink

    ඔව්‍ 20%ට වැඩියෙන් අයවෙනව

    Reply
    • January 4, 2011 at 8:15 pm
      Permalink

      ඩයලොග් වල 22.45% ක්

      Reply
  • Pingback: Mr. Lalith Weeratunga, Secretary to the President of Sri Lanka, gives a lunch to a set of young bloggers and web professionals! | Malinda's Blog - මාලින්දගේ සටහන

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *