pragathi
ප්‍රගති මහීලාල්

ද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක් කෙනක් ඒක පුද්ගල කතෘ මණ්ඩලය වූ මමය. අනෙකා දින කිහිපයකට පෙර අපෙන් වියෝ වූ ප්‍රගති මහීලාල්ය. ප්‍රගතිගේ රාජකාරිය වූයේ – ලිපි ලිවීම හැරුණු විට අනෙක් සියළුම දේවල්ය. වෙළෙඳ දැන්වීම් සොයා ගැනීම, මුද්‍රණය, බෙදාහැරීම පමණක් නොව මට අවශ්‍ය පොත්පත් සොයා පොත්හල් ගානේ රස්තියාදුවීමද ඒ අතර විය.

Pragathi
ප්‍රගති මහීලාල්

“කළු මහත ළමයෙක්. කඩියා වගේ වැඩ!” මේ ලංකාදීප ප්‍රධන කතෘ සිරි රණසිංහයන් දෙවැකියකින් මට ප්‍රගති හඳුන්වා දුන් හැටිය. සහතික ඇත්ත. ප්‍රගති කඩියෙකි. වැඩක් බාරගත් මොහොතේ සිට සාර්ථකව ඉවර කරන තුරු ඔහුට නිවනක් නැත. උදේ සිට රෑ වනතුරු කළේ ඒ වෙනුවෙන් දුවන එකය.

pariganaka-mag-first-issue2මුල්ම පරිගණක සඟරාව එළි දක්වන්නට අප දෙදෙනාට මසක කාලයක් ලැබිණි. (මෙය ‘විජය පරිගණක’ වූයේ පසුවය. කලින් පුරුද්දට මට තවමත් එය කියැවෙන්නේ ‘පරිගණක’ සඟරාව හැටියටය.) අද නම් එවැන්නක් සතියකින් කළ හැකිය. එදා එය විශාල අභියෝගයකි. වසර දොළහකට පෙර පරිගණක තාක්ෂණය ගැන හොඳ ලිපියක් සරල භාෂාවෙන් ලියන්නට පවා කෙනකු නොවිණි. ලියූවන් ලිව්වේද එක්කෝ බාග ඉංගිරිසියෙනි. නැතිනම් පාඨකයන්ට තියා ලේඛකයාටවත් නොතේරෙන භාෂාවකිනි. නිසි වදන් නැතිවීම තවත් අඩුවක් විය. (බොහෝ වදන් බන්දුසීල, එඩ්වින් ආරියදාස වැනි වියතුන්ගේද සහාය ඇතිව අපි තනා ගතිමු. ‘වෙබ් අඩවි’, ‘බා ගත කිරීම’, ‘ජව ගැන්වීම’,’සංගත තැටි, ‘තැටිති’ අප එදා නිර්මාණය කළ යෙදුම් කිහිපයකි.) ‘සිංහලෙන් ඕවා ලියන්න පුළුවන්ද?’ ඇසුවෝත් වූහ. එඩ්වින් ආරියදාස, මහාචාර්ය වී. කේ සමරනායක වැනි සුළු පිරිසක් අප දිරිමත් කළද ඔවුනගේ අදහස වූයේද සිංහල මාධ්‍ය පරිගණක සඟරාවකට පිටපත් දස දහසකට වඩා අළෙවියක් නැති බවය. මේ කතා කරන්නේ 1997 ගැනය. දහයකින් කෙනකුවත් පරිගණකයක් දැක නොතිබිණි. රටේ භාවිතා වූ මුළු ජංගම දුරකථන සංඛ්‍යාව ලක්ෂයකට අඩුවිය. වෙනෙකක් තියා මුළු ලංකාදීප කතෘ මණ්ඩලයටම එකම පරිගණකයක් වත් තිබුනේ නැත.

විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරියෙන් අපට සඟරාව පළ කරනවාට අමතරව තවත් අභියෝගයක් ලැබුණේය. ඒ සමාගමේ සියළුම ප්‍රකාශනවල පිටු සැකසීම පරිගණීකරණය ආරම්භ කරන ලෙසය. ඒ වන තුරුම විජය පුවත්පත් සමාගමට සිංහල පිටු සැකසීම් අංශයක් කියා දෙයක් නොතිබිණි. සිටියේත් පිටු සැකසීම් ශිල්පීන් නොව පරිගණක යතුරු ලියන්නන්ය. ඔවුන් කොලම් මහතට යතුරු ලියා දෙන ලිපි පරණ විදියට සුදු කඩදාසියේ ඇළවීමෙන්ය පිටු සකසා ගත්තේ. පේජ් මේකර් හා ෆොටෝ ෂොප් පරිගණකයන්හි ස්ථාපනය කොට තිබුනද භාවිතාවක් නොවීය. පළමු වරට ඒවා භාවිතා කළේ පරිගණක සඟරාව වෙනුවෙනි. අද මතක් වන විට සිනා පහළ වුවත්, වැඩි වැඩ නැතිව පළමු පිට සකසා ගැනීමට මටත් චන්දන, ගුණතිලක දෙසොහොයුරන්ටත් පැය තුනකට ආසන්න කාලයක් ගතවිය.

මේ දීර්ඝ අටුවාව ලීවේ ප්‍රගතිත් මාත් භාරගත් අභියෝගයේ තරම කියන්නටය. මම ප්‍රගතිගේ බොස් වීමිද, නැතහොත් ප්‍රගති මගේ බොස් වීද මම අදත් නොදනිමි. එවැන්නක් සිතීමට වත් අවකාශයක් වූයේ නොවේ. අගෝස්තු 12 වැනිදා ලංකාදීප පුවත්පත සමඟ නිකුත් වීමට නියමිත පළමු පරිගණක කලාපයේ වැඩ කටයුතු අප නිමා කළේ ඉන් පෙරදිනය. මුද්‍රණයට යන්නට පැයකට පෙරත් ප්‍රගති පිටු මාරුවක අවුල් ඇරියා මතකය. මුල්ම සඟරාව මුද්‍රණය වී එනතුරු විජය පුවත්පත් ආයතනයේ පහළ මහලේ බලා සිටීම ප්‍රගතිටත් මටත් නවමු අත්දැකීමක් විය. අපේ උත්සාහයේ මිහිර විඳ ගැනීමට ලැබුනේ පසුවදා පාරේ තැඹිලි විකුනන්නන්ද පරිගණක සඟරාව කියවනු දැකීමෙනි.
ප්‍රගති ගැනත් පරිගණක සඟරාව ගැනත් මට තවත් බොහෝ මතකයන් ඇත. එහෙත් ඒ වෙනුවට අප දිනාගත් දේ ගැන කතාකිරීම වඩාත් අවස්ථෝචිතය. 1999දී තනිව නැඟී සිටීම ආරම්භවූ පරිගණක සඟරාවට මුලදී දස දහසක මාසික අළෙවියක් වත් නොතිබිණි. මගේ මතකය නිවැරදි නම් දෙවැන්න කලාප 6,000 කටද, තෙවැන්න 5,000 කටද පහත වැටුණේය. මේ වනවිට අපේ උත්සාහය ගැන අපටම සැක පහළ වුවද අවසාන මොහොත දක්වා සටන අත නොහැරීමට අපි අධිෂ්ඨාන ශීලී වීමු. මාසයකට දහස දෙදහස ගණනේ අළෙවිය ඉහළ නැංගේය. 2001 ආර්ථික අවපාත සමයේ වෙනත් බොහෝ ප්‍රකාශනවල අළෙවිය වැටෙද්දී අපි නොකඩවා ඉහළ නැංගෙමු. අවසානයේ ප්‍රගති හා මා 2004 දී ඉන් ඉවත් වන විට විජය පරිගණක සඟරාවේ මාසික අළෙවිය 42,000 ඉක්මවා තිබුණේය. අපෙන් පසු ඒ කටයුත්ත භාරගත් පාලිත අමරසුරිය සොහොයුරා දැන් එය එමෙන් කිහිප ගුණයක් ඉහළ නංවා කිසිම තරගයක් නැතිව එය වෙළෙඳපළ නියමුවා කොට ඇත.
මීට අමතරව විජය පරිගණක සඟරාව මඟින් අපි ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික මට්ටමේ පරිගණක සම්මේලන පැවැත් වූයෙමු. පදනම් ආයතනයේ විශාල ශාලාව පිරෙන්නට මේවාට සෙනඟ එක් රැස්වූ බව මට මතකය. පළමු සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වුයේ එවකට ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායකය. මහාචාර්ය වී. කේ සමරනායක, මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය බන්දු රණසිංහ, ක්‍රිශාන්ත සිල්වා (දැනට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ), ගාමිණි ගුණවර්ධන, එස්. එම්. බන්දුසීල, ටී. එම්.ජී. චන්ද්‍රසේකර (ඔහුගේ ‘අන්තර්ජාලය ඔබේ නිවසට’ වැඩසටහන එවකට අතිශය ජනප්‍රිය විය.) හා නාලක ගුණවර්ධන  මේවාට සම්පත් දායකයින් සේ සහභාගි වූයේ සතයක් වත් නොගෙනය. මෙහි සම්පූර්ණ ගෞරවය යායුත්තේ ප්‍රගතිටය. ඔහුගේ අපූර්ව සංවිධාන ශක්තිය නොවීනම් මේ කිසිවක් සිදුවිය නොහැකිව තිබිණි.
වෘත්තීය සගයකු හැටියට ප්‍රගති සමඟ තරම් පහසුවෙන් මම වෙනත් කිසිවකු සමඟ කටයුතු කළේ යැයි නොසිතමි. සාමාන්‍යයෙන් මා සමඟ වැඩ කිරීම කෙනකුට පහසු නැත. මාධ්‍ය ජීවිතයේදී එය වඩාත් දැනේ. එහෙත් ඔහු සමඟ කටයුතු කළ දීර්ඝ කාලය තුළ වරක් හෝ අප අතර වාදයක්, උනුසුම් කතාබහක් නොවීය. අප දෙදෙනා එකකු ලෙස හැපුණේ අනුන් සමඟය.
විජය පරිගණක සඟරාව පිළිබඳ බොහෝ කටයුතු මා කළේ නිර්නාමිකව හෝ ආරූඪ නම් වලිනි. විවිධ නම් විසි පහකට වැඩි සංඛ්‍යාවකින් මම ඊට ලියා ඇත්තෙමි. හේතුව මාධ්‍ය භාවිතාව මගේ අනෙකුත් රැකියා කටයුතු වලට බාධාවක් වීමය. මට සේම ප්‍රගතිටත් ඒ වෙනුවෙන් ලැබුනේ සොච්චමකි. එහෙත් ඒ ගැන අප දෙදෙනාටම අවංකව සතුටුවීමට කරුණු කාරණා තිබිණි. අද අපට හමුවන පරිගණක ක්ෂේත්‍රයේ දැනුමැති යව්වනයෝ ජීවිතයේ එක්තරා වයසක විජය පරිගණක සඟරාවෙන් එක්තරා මට්ටමකට උගැන්මක් ලැබූවෝය. ඔවුන් ඒ මට්ටමට ගත්තේ අපයැයි මම නොකියමි. එහෙත් අප ඔවුනට රුකුලක් වී නම් ඒ ගැන අවංකව සතුටු විය හැකිය.
පරිගණක සඟරාවෙන් ඉවත් වූ පසු ප්‍රගතිගේත් මගෙත් සන්නිවේදනය එක්තරා මට්ටමකට සීමා විය. එය වසර ගණනාවකට පසු මෑතක යළි අළුත් වූයේ ඔහු ‘ඩේලි මිරර්’ පුවත්පතෙහි වෙළඳ දැන්වීම් කළමනාකාර ධුරයට පත්වීම සමඟය. බොහෝ කාලයකට පසුව රැකියාවේ ධනාත්මක වෙනසක් වන්නට යෑම ප්‍රගතිට සුභ ආරංචියක් විය. (පරිගණක සඟරාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු කළේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩි අභියෝගයක් නැති වැඩ කටයුතුය.) කෙසේවෙතත්, ආර්ථික අර්බූදයක් ඉදිරියේ තබාගෙන රැකියාවේ වෙනසක් වීමේ අවදානම ගත යුතුද යන්න ඔහුට ගැටළුවක් විය. ප්‍රගති ගැන දන්නා මම ඊට දිරි දුනිමි. ප්‍රගතිට අවශ්‍ය වූයේ අභියෝගය. අභියෝග නැති තැන ඔහු උදාසීන වෙයි. අළුත් රැකියාව ඔහු දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අභියෝගය ඔහුට ලබා දෙනු ඇතැයි මම කල්පනා කළෙමි. ඒ සති කිහිපයකින් ඇසෙන්නට යන අසුභ ආරංචිය නොදැනය.
ප්‍රගති ‘පරිගණක’ පවුලේ අපට අහිමි වූ පළමුවැන්නා නොවේ. අප මුලින් සෝපත් කළේ X හි ආරම්භක කතුවරයා වූ ඇන්තනි ඩේවිඩ් රාජුය. ප්‍රගති සේම ඩේවිඩ්ද මියගියේ අඩු වයසිනි. ඩේවිඩ් පසට යටකළ ඒ අවාසනාවන්ත උදෑසන අපි ප්‍රගති සමඟ කඳුළ බෙදා ගතිමු. අද ප්‍රගතිද අප හැර ගොසිනි. අපි ඔහුද ඩේවිඩ් සේම දෙව් මව් තුරුළට යවමු.

අවසන් ගසන් ගිය රථය
අවසන් ගසන් ගිය රථය

“ප්‍රීතිමත් කුමාරයානෙනි – ඔබට සුභ රාත්‍රියක්” මේ ඩේවිඩ් වෙනුවෙන් අප මින් වසර දහයකට කලින් ලියූ ලිපියක මාතෘකාවය. ප්‍රගති වෙනුවෙන්ද එය භාවිතය නුසුදුසු යැයි මට නොසිතෙයි.
චානුක වත්තේගම
ආරම්භක සංස්කාරක (1997-2004)
‘විජය පරිගණක’

ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

6 thoughts on “ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

  • April 13, 2009 at 9:44 am
    Permalink

    මීට කලින් සුදාරක මලයගෙ එකෙත් මේ ලිපිය පලවුනා
    http://blog.sudaraka.com/?p=449

    Reply
    • January 29, 2011 at 3:52 pm
      Permalink

      mahatmayanneni. mama hama masayakama wijaya pariganaka sagarawa gannawa. mama hasalaka inne. mata wijaya pariganaka sagarawa online balanna web link ekak iyenaw nam email karanna. oba tumata godak stutiy.

      Reply
  • April 15, 2009 at 8:20 am
    Permalink

    සුභ අළුත් අවුරුද්දක් වේවා හරිද???
    (මුල් මාස 3 ගියාට පස්සෙ නම් කොහොමත් සුබයි.. ;P)

    අම්මා… පවු සිද්දිය මචං..

    මේක දැනගන්නම ඕන කතාවක් නෙ…
    තෑන්ක්ස් මචෝ මේක දැම්මට..

    ප්‍රගති මහීලාල් මහත්තයා… ඔබට නිවන් සැප..!!

    Reply
  • June 29, 2009 at 3:27 am
    Permalink

    අපට අහිමි වූ ප‍්‍රගති මහිලාල්
    (2009 මැයි විජය පරිගණක සඟරාවේ කතුවැකිය)

    හරියටම අදින් අවුරුදු හතරකට කලින් එනම් 2005 මාර්තු මාසයේ අයිටී ටයිම්ස් (IT Times) පරිගණක සඟරාව පළමු කලාපය නිකුත් කිරීමේ වැඩ සූදානම් කෙරෙමින් තිබුණේය. අයිටී ටයිම්ස් කර්තෘ මණ්ඩල කාර්යාලයතිබුණේ විජය පරිගණක කර්තෘ මණ්ඩල කාර්යාලයට ළඟිනි. එනිසා එහි වෙන-කෙරෙනදේවල් මෙන්ම එන -යන අයව අපට හොඳට පෙනේ. නිතරම කාර්යාලයේ සිටියේ අයිටී ටයිම්ස්හි කර්තෘ අශ්වින් හෙම්මාතගමය. ඒ අතරවාරයේ ඔහු හමුවෙන්නට විත්, වාද – විවාද කරමින් සිට, මහ හඬින් සිනා සෙමින් සිට, වටපිටාවේ සැම සමඟකතා-බහ කොට යන්නෙක් සිටියේය. මා ඔහු හඳුනන්නේනැත.අශ්වින්ගෙන් ඔහු කවුදැයි මමඇසුවෙමි.‘‘ඒ තමයි අපේ පබ්ලිෂිං මැනේජර්. ප‍්‍රගති. ප‍්‍රගති මහිලාල්.’’ අශ්වින් කීය.

    ටික කලකින් ප‍්‍රගති මා දැන හඳුනාගත්තේය. නිතර x ඔහු මා සමඟ කතා බහ කළේය.

    දිනක් ප‍්‍රගති මහිලාල්, මා එන තෙක් මගේ කාර්යාලයට වී බලා සිටියේය. ‘‘මං උදව්වක් ඉල්ලා ගන්නයි ආවේ’’ හේ කීය. ඔහු ඉල්ලූයේ, විජය පරිගණක සඟරාවේ පළවන ලිපි සහ පාඩම් මාලා අයිටී ටයිම්ස් සඟරාවට ලබාදෙන ලෙසය. මා විජය පරිගණක සඟරාවේ කර්තෘකම කරන්නට ආ පසුගිය අවුරුදු හතරක කාලය තුළ, ඉංග‍්‍රීසියෙන් සිංහලයට පරිවර්තනය කළ කිසිදු විශේෂාංග ලිපියක්, විජය පරිගණක සඟරාවේ පළ කොට නැත.මෙහි පළවනපාඩම් මාලා ඇතුළු සියලූම ලිපි විජය පරිගණක සඟරාව වෙනුවෙන්ම අලූතෙන් ලියනලදඒවාය. එදිනෙදා විශේෂාංග ලියන්නේ නොයෙක් මූලාශ‍්‍ර ඇසුරෙන්අලූතින්මය. ප‍්‍රගති මේ ගැන හොඳ හැටි දැන සිටියේය. ඉංග‍්‍රීසියෙන් පළවූ ලිපි, ඉංග‍්‍රීසි සඟරාවක් වූ අයිටී ටයිම්ස්හි නැවත පළ කරන්නට ගොස් අමාරුවේ වැටෙනවා වෙනුවට හේ විස්වාසනීය මඟක් තෝරා ගත්තේය. මෙතැනදී ඔහු පෙන්වූයේ, අලෙවිකරණය අතින් ඔහු සතු උසස් ප‍්‍රායෝගික දැනුමයි.

    ප‍්‍රගති මහිලාල් සතු වූ මේ පරිචය විජය පරිගණක සඟරාව වෙළෙඳ පොළේ රඳවා තබා ගැනීමටද ප‍්‍රයෝජනවත් වුණි. විජය පරිගණක සඟරාවේ ආරම්භක ප‍්‍රකාශන කළමනාකාරවරයා වූයේ ප‍්‍රගති මහිලාල්ය.

    1997 දී ලංකාදීප පුවත්පතේ අතිරේකයක් සේඋපතලද විජය පරිගණක සඟරාව; 1999 සැප්තැම්බරයේ ස්වාධීන ප‍්‍රකාශනයක් ලෙස එළි දක්වන්නට අපමණ දහඩිය හෙළුෑ අය අතර ඉදිරි පෙළ සිටින්නෙකි ප‍්‍රගති මහිලාල්. අද මෙරට මොන භාෂාවෙනුත් තිබෙන එකම ජාතික පරිගණක සඟරාව වශයෙන් විජය පරිගණකසඟරාවෙන් ප‍්‍රයෝජන ලබන හැම කෙනෙකුම ප‍්‍රගති මහිලාල්ටකෘතඥවියයුතුයකියා හැෙඟන්නේ ඒ ගැන සිතද්දීය.

    හොඳ අලෙවිකරණ දැනුමකට අමතර වශයෙන් ප‍්‍රගති මහිලාල්ට හොඳ ජීවනාකල්පද තිබුණි. අයිටී ටයිම්ස් සඟරාව නැවත ගොඩනඟන්නට අප‍්‍රමාණ වෙහෙසක් වින්දත්, ප‍්‍රගතිට පාලනය කර ගන්නට බැරි ඉමේ දෝෂනිසා එයඵලදැරුවේ නැත. ඉන්පසු ප‍්‍රගති හමුවූයේ අහම්බයෙනි. ඒ හැම වේලාවේම ඔහුට ලොකු දඩිබිඩියක් තිබුණේය. ‘‘දැන් ඉතින් ලොකු වැඩකුත් නැති එකේ මොකද මේ හදිස්සිය?’’මමදවසක් ඔහුගෙන් ඇසුවෙමි. දහස් වරක් නැවත සිතා බැලියයුතු උත්තරයක් හේ මට දුන්නේය. ‘‘වැඩ නැතත් නිකං ඉන්ඩ නරකයි. එතකොට කම්මැලි වෙනවා. ආයෙත් වැඩ ආපු දාකට අපි ඉවරයි’’ ඒ ඔහුගේ උත්තරයයි. ඔහු වැඩ එනතෙක් ඊට සූදානමින් ‘වෝර්ම් අප්’ වී සිටි කෙනෙකි.

    මෙය කියවන ඔබට එවැනි කෙනෙකු හමු වී තිබේද? අපට අහිමි වූයේ එවැනි වැඩට උපන්, කම්මැලි නැති අපූරු මිනිසෙකි.

    ප‍්‍රගති මතක් වන විට මට පෙනෙන කඩිසර රූපය නැති වෙනවාට මා කැමති නැත. ඔහුගෙන් මා පෙරළා දකින්නේ අපේ රට-සමාජය ඉදිරියට තල්ලූ කර ගෙන යන්නට  ඕනෑ කරන තාලයේ මිනිසෙකි. ඒ මිනිසා මැරී වැටී සිටිනු දකින්නට මා කැමති නැත. මම ප‍්‍රගතිගේ ප‍්‍රාණ නිරුද්ධ සිරුර බලන්නට නොගියෙමි.

    අද පරිගණක යන්ත‍්‍රය ගැන දන්නා අප රටේ හැම කෙනෙක්ම වාගේ විජය පරිගණක සඟරාව ගැන දනී. රටේ ලක්ෂ ගණනක් දරු-දැරියන් විජය පරිගණක සඟරාවෙන් ලබන ආභාෂය විසින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත්කරනු ඇති. ඒ සද්කාර්යයෙන් උපදින පින ප‍්‍රගති මහිලාල්ට අනුමෝදන් විය යුත්තේය. අවසන් වශයෙන් කිව යුත්තේ අප අදහන දහමේ හැටියට මේ පින් බලෙන් ප‍්‍රගති මහිලාල්ට ඒකාන්ත වශයෙන්ම නිවන් සුව අත්වේවා කියාය.

    පාලිත අමරසූරිය
    විජය පරිගණක සඟරාවේ කර්තෘ

    Reply
  • Pingback: 1. මටත් කියන්නට කතන්දරයක් තියේ. මේ එහි ඇරැඹුමයි… | සිහි සටහන්

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *